01)
බුදු පිය රජිදුනි හද සුදු කරලා
සුදු නෙළුමක් කර පිදුවෙමු සකලා
ඔබේ හද මල් ගුණයට නතු කරලා
පූජා කර ඇත ගුණ කද දැකලා
02)
බුදු රජිඳුනි මෙම ලෙසද පුදන්නේ
අපි මල් කැඩු ගස් වැල් වෙත යන්නේ
මල් ඇති විට රොන් සුනු මුසු වන්නේ
ගස් වැල් වල ගෙඩි කරල් හැදෙන්නේ
03)
ගස මල විට යලි ගස් ඇති කරනා
වැල මල විට යලි වැල් ඇති කරනා
ගස් වැල් පරපුර ලොව ඇති කරනා
හේතුව සිහි කරනෙමි ඇට මගිනා
04)
මල් කැඩු විට එම තැන කුම වන්නේ
බීජ නොවෙයි යලි නැත හට ගන්නේ
මල් අරගෙන විත් මුනිඳු පුදන්නේ
මෙහෙමයි අපි සිහි කර වැඳ ගන්නේ
05)
මල් නැති තැන ගස් පරපුර තනවා
යන මග නැති හැටි සිහි කරවනවා
අපි කය මල් ගස විලස සිතනවා
මල් පිපි ලෙස පසිදුරන් දකිනවා
06)
රූ, හඬ, සුවඳද, රස පහසද යන
රොන් සුනු මුසු වන කල හද ගැබ ගෙන
බීජ විලස සිත් පහලව වැඩෙමින
භවය හැදෙන හැටි සිතනෙමි මෙලෙසින
07)
සංවර ඉඳුරන් ඇති කර ගන්නේ
මල් කැඩු විලසයි අපිද සිතන්නේ
මේ මල් පාමුල දැමු විලසින්නේ
සංවර සිල්වත අප අර ගන්නේ
08)
සීල ගුණෙන් ශාසනය වැඩේවා
සීල මඟට උපමාව පෙනේවා
සීල කුසල් මග සැමටම වේවා
සීල ගුණෙන් සැම නිවන් දකීවා
වර්‍ණ ගන්ධ ගුණෝපෙතං - එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස - සිරිපාද සරෝරුහෙ
වර්‍ණ ගන්ධ ගුණෝපෙතං - එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස - සිරිපාද සරෝරුහෙ
වර්‍ණ ගන්ධ ගුණෝපෙතං - එතං කුසුම සන්තතිං
පූජයාමි මුණින් දස්ස - සිරිපාද සරෝරුහෙ
සාධු! සාධු!! සාධු!!!
Twitter
Facebook
Flickr
RSS


0 comments:
Post a Comment