පටිභාණ කවීත්වයෙන් මතුවෙන ශ්‍රී සත්ධර්මය...

කවි කියන්න පුළුවන් වගේම කවි ලියන්න පුළුවන් අයත් ලෝකේ ඕන තරම් ඉන්න පුළුවන්...
කවි සිතින් සිත සිතා පහල කරගෙන සටහන් තබන අයත් මොහොතක් හෝ විරාමයක් ඇතිව හිටිවන කවි පහල වන අයත් ලෙසින් නන් අයුරින් කවි අදහස් ඇතිවන්නුවන් ලෝකය පුරාම සිටිනවා...
ඒත් මේ කියන පටිභාන කවීත්වයේ විශේෂත්වය දැනෙන්න නම් එවැනි පටිභානමය කවීත්වය පැන නඟින තැනක සජීවීව දෙසවන් යොමු කර සිටින විට එය කොතරම් සුවිශේෂීද එය කොතරම් ආශ්චර්යමත්ද කියලා වැටහෙනවා...
මේ කවි කියවන ඔබට සමහර විට ඒවා සිතා සිතා ගෙතූ කවි පෙලක් ලෙසින් බැලූ බැල්මට සිතේවි... එහෙත් ඒ අත්දැකීම් සජීවීව විඳ ඇති මට නම් එවැනි කවීත්වයක් බුදු පියාණන් කල වූවායැයි සැලකෙන ද්‍රෝණ ඝර්ජනාවට දෙවෙනි විය නොහැකි බව ස්ථිරවම කිව හැක...
මන්ද ඒ කවි ගලා එන වේගයත්... ඒවා දිනෙන් දින වෙනස්කම් ඇතිව කියෙවෙන ස්වරූපයත්... ඒවා තුලින් පෙන්වා දෙන ගැඹුරු ධර්මය වැටහෙන පරිද්දෙන් සිත සමාධිගත වන අයුරුත්... ආදී නොයෙක් දෑ සජීවීව අත්දැකපු තවමත් අත්දකින මා හට නම් එය සම්මා සම්බුදු පියාණන් වහන්සේ පවා අනුමත කරන්නට ඇතැයි නුවණින්ම විමසා තීරණයක් ගත හැකි නිවන වෙතම උපකාර වන උතුම් දහම් මඟක්මය...
මේ අත්දැකීම සජීවීව අත්විඳිමින් එහි සුවිශේෂීත්වය තමන්ටම අත්දකින්ට වුවමනා ඇත්තන් සෙනසුරාදා දිනයන්හි උදෑසන 8.30 සිට දහවල් 12.00 වන තෙක් කාලය තුල වහරක අරියචින්තාශ්‍රමයේදී වහරක අභයරතනාලංකාර ස්වාමීන්ද්‍රයන් විසින් පවත්වන පටිභානමය කාව්‍ය මෙත් පූජාවට සහභාගී වෙත්වා!! තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!!

පටිභාන කවි අසන්න...

පටිභාන කවි යනු බුද්ධිමත්ව පිරිසිදු මනසින් ශ්‍රවණය කරන කල්හි, බුදු දහ‍මේ යථාර්ථයන් මතු කරමින් ශ්‍රාවකයා විමුක්තිය කරා ගෙනයන ආකාරයේ අදහස් ගැබ් කොට ගත් කවි විශේෂයකි.
ගීතස්වරයෙන් මිදී ශබ්ද විද්‍යානුකූලව නියමිත මාත්‍රා තුළින් නැගෙන නාදය ශ්‍රාවකයා තුළ ශෘංගාර රසයක්, ශබ්ද කාමයක් ශබ්ද, රාගයක් ඇති කොට, සරාගී මිහිරියාවෙන් මත් කිරීමක් නොකරයි. කට පාඩම් කිරීමකින් තොරව සමාධියේදි ඇතිවන ශුද්ධ මානසිකත්වය තුළින් ආයාසයකින් තොරව ගෙති එන මෙම මහානුභාව සම්පන්න පටිභාන කවි ක්‍රමානුකුලය පැටලිලි රහිතය. එළිසම, එළිවැට මනා සේ පිහිටන මෙ‍ම කවි සිහිබුද්ධියෙන් යුතුව ශ්‍රවණය කරන්නෙකුගේ සිත උතුම්වූ ලෝකෝත්තර සමාධියට ඇදි යයි. මහානුභාව සම්පන්න ලෝකෝත්තර පටිභාන කවි සතු උතුම්වූ ගුණාංග කිහිපයක් එසේ දක්වාලිය හැක.  භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ කවීත්වය තහනම් නොකළ සේක. එහෙත් ගීතස්වරයෙන් ගායනා කිරීම අනුමත නොකළ සේක.   කවි සම්බන්ධව සිදු කල දේශනා කවි (ගාථා නිදාන) සූත්‍රය - සංයුත්ත නිකාය 1 - පිටුව 70 සහ කවි සූත්‍රය - අංගුත්තර නිකාය 2 - පිටුව 444
පද නිරුක්තිය
පටි : යනු සත්වයා ලෝකයට බැඳ තබන දේ හෙවත් සංයෝජන ධර්මයි.
භාන : යනු (බාන නොවේ) බිඳ හැරීම බිඳිම යන අරුත් දෙයි. 

එනයින් සත්වයා ලෝකයට බැඳ තබන "පටි" බිඳ හැරීමට උපකාරී වන කවි පටි + භාන = පටිභාන කවි නම් වෙයි.  
 
පූජ්‍යපාද වහරක අභයරතනාලංකාර ස්වාමීන් වහන්සේ ලෝක සත්වයා වෙත මහත් වූ දයානුකම්පාවෙන් යුතුව පිරිසුදු සමාධියේ සිට ගායනා කරන්නට යෙදුණු, සියලු උතුම් ගුණාංග කැටිකොටගත් මහානුභාව සම්පන්න පටිභාන කවි පන්තීන් කිහිපයක් ලබා ගැනීමට පහත යොමුවෙන් (ලින්ක්) අවස්ථාව ලැබේ.  එම කවි මනා සිහි ණුවනින් යුතුව ශ්‍රවණය කිරීම මගින් ඒ තුළින් ලද හැකි උසස් ප්‍රතිඵල ළඟා කොට ගැනීමට කටයුතු කරත්වා!
බුදු දහමේදී කාව්‍යමය ස්වරූපය භාවිතය සහ මෙම පටිභාන කවි තුළින් මතුව එන දහම් අරුත්, ආර්යයන් හට ඔවුනගේ නිවන් මගට උපනිශ්‍රය වන ආකාරය පිළිබඳව තව දුරටත් වටහාගනු කැමැත්තේනම් පහත සම්බන්ධතා තුළින් යොමු කෙරෙන ලිපි පරිශීලනය කරන්නට අවස්ථාව ඇත. 

සෑම මසකම සෙනසුරාදා දිනයන්හිදී උදෑසන 8.30 සිට මධ්‍යහ්න 12.00 දක්වා පටිභාන කාව්‍යමය මෙත් පූජාවන් පවත්වනු ලැබේ.

ස්ථානය: වහරක අරියචින්තාශ්‍රමය (ගමන් මාර්ගය පහත දක්වා ඇත)