පටිභාණ කවීත්වයෙන් මතුවෙන ශ්‍රී සත්ධර්මය...

කවි කියන්න පුළුවන් වගේම කවි ලියන්න පුළුවන් අයත් ලෝකේ ඕන තරම් ඉන්න පුළුවන්...
කවි සිතින් සිත සිතා පහල කරගෙන සටහන් තබන අයත් මොහොතක් හෝ විරාමයක් ඇතිව හිටිවන කවි පහල වන අයත් ලෙසින් නන් අයුරින් කවි අදහස් ඇතිවන්නුවන් ලෝකය පුරාම සිටිනවා...
ඒත් මේ කියන පටිභාන කවීත්වයේ විශේෂත්වය දැනෙන්න නම් එවැනි පටිභානමය කවීත්වය පැන නඟින තැනක සජීවීව දෙසවන් යොමු කර සිටින විට එය කොතරම් සුවිශේෂීද එය කොතරම් ආශ්චර්යමත්ද කියලා වැටහෙනවා...
මේ කවි කියවන ඔබට සමහර විට ඒවා සිතා සිතා ගෙතූ කවි පෙලක් ලෙසින් බැලූ බැල්මට සිතේවි... එහෙත් ඒ අත්දැකීම් සජීවීව විඳ ඇති මට නම් එවැනි කවීත්වයක් බුදු පියාණන් කල වූවායැයි සැලකෙන ද්‍රෝණ ඝර්ජනාවට දෙවෙනි විය නොහැකි බව ස්ථිරවම කිව හැක...
මන්ද ඒ කවි ගලා එන වේගයත්... ඒවා දිනෙන් දින වෙනස්කම් ඇතිව කියෙවෙන ස්වරූපයත්... ඒවා තුලින් පෙන්වා දෙන ගැඹුරු ධර්මය වැටහෙන පරිද්දෙන් සිත සමාධිගත වන අයුරුත්... ආදී නොයෙක් දෑ සජීවීව අත්දැකපු තවමත් අත්දකින මා හට නම් එය සම්මා සම්බුදු පියාණන් වහන්සේ පවා අනුමත කරන්නට ඇතැයි නුවණින්ම විමසා තීරණයක් ගත හැකි නිවන වෙතම උපකාර වන උතුම් දහම් මඟක්මය...
මේ අත්දැකීම සජීවීව අත්විඳිමින් එහි සුවිශේෂීත්වය තමන්ටම අත්දකින්ට වුවමනා ඇත්තන් සෙනසුරාදා දිනයන්හි උදෑසන 8.30 සිට දහවල් 12.00 වන තෙක් කාලය තුල වහරක අරියචින්තාශ්‍රමයේදී වහරක අභයරතනාලංකාර ස්වාමීන්ද්‍රයන් විසින් පවත්වන පටිභානමය කාව්‍ය මෙත් පූජාවට සහභාගී වෙත්වා!! තිසරණ සරණ ලැබ නිවී සැනසෙත්වා!!

වහරක අභයරතනාලංකාර හිමි පිළිබඳව

ඔබ වහන්සේගෙ කුඩා කාලය ගැන කිව්වොත්?
ඉපදුනේ 1950 ජූලි මාසෙ 10 වෙනිද. ගෝනගල්දෙනිය වහරක කියන්නෙ මේ ගමමයි. උපං ගමත් මෙහෙ. ඉපදුනේඉස්පිරිතාලෙක නෙමෙයි. අපේ මහ ගෙදර තියනකොට එහෙ තමයි උප්පත්තිය ලැබුවෙ. එතන පටං ගෙන මේ කාලෙ වෙනකං අවුරුදු 59 ක් විතර වෙනව.

මහණ වුනේ?
මහණ වෙලා දැං අවුරුදු 4ක් විතර වෙනව. ගිහිවතේ සෑහෙන කාලයක් ගතකලා. පොඩි කාලෙ ඉඳං ධර්ම මාර්ගය අනුගමනය කිරීම තමයි කරල තිබුනෙ. වැඩිපුරම තිබුනෙ ධර්ම පර්යේෂණ. ඒවායෙ ප්‍රතිඵලයක් වශයෙන් අවසාන මල් පල ගැන්වීමක් තමයි පැවිද්ද.

මීට කලින් මහණ වුනේ නැත්තෙ ?
ඒක ඉතිං නිගමනය කරන්න බෑ. දෛව තත්ත්වය කැරකෙන හැටි තමයි. අපිට ඒ බලාපොරොත්තු ඕන තරම් තිබුන. නමුත් ඒ බලාපොරොත්තු එකක් වත් ඒ ඒ කාලෙට ඉෂ්ඨ උනේ නෑ.

සමහර වෙලාවට ලෝක ස්වභාවය අත්දැකල හිටං යන ගමන තුල විශේෂයෙන් අවබෝධය ලැබෙනව. අන්න ඒක අත්දැකීම් සහිතයි. අත්දැකීම් රහිත අවබෝධය ලැබෙන්නෙ අනන්ත සංසාරෙ එබඳු පාරමිතා ගුණ පුරපු අයටයි. ලොව්තුරා බුදුවරයන් වහන්සේලා ඒ තත්ත්වයට පත්වෙන්න මූලික අත්දැකීම් මේ ගිහි ජීවිතයෙ හුඟක් ලබලයි ගියෙ. සෑම බුදුවරයෙක්ම යන්නෙ එහෙම. අපි එතන කියනව නෙමෙයි නමුත් ඒකත් එක්තරා රටාවක්. මොකද අනුමාන වශයෙං අත්දැකීම් ගැන හිතනවට වැඩිය මේ ලෞකික ගිහි ජීවිතයෙ සැප සම්පත් කියන ඒවා, මේවයෙ ස්වභාවය, පවුල් ජීවිත වල ස්වභාවය තමන්ම භුක්ති විඳීම හොඳ ලස්සන අත්දැකීමක් වෙනව. ඒක අවබෝධයට හරි වැදගත් වෙනව. හේතු වාසනා තියෙන්නත් පුළුවන් හේතු කාරක තියෙන්නත් පුළුවන් ඒ අවස්ථාවට පත්වෙන්න.

ඔබ වහන්සේ මුලින්ම ධර්මයට නැඹුරු උනේ?
ඒ කාරනේ කියන්න අමාරුයි . ඉතාම කුඩා කාලයේ පටං තිබිච්ච පර්යේෂණ බලාපොරොත්තුවක් තිබුනා. බුදුරජානන් වහන්සේ දේශනා කරපු සත්‍යය ධර්මය මොකක්ද කියල හොයල ලෝකෙට දෙනව කියන අදහස. ඒක අවුරුදු හතර පහ තරම් ඉතාම කුඩා කාලෙ ඉඳන් තිබිච්ච දෙයක්. කෙනෙක්ගෙං අහල දැනගෙන උද්දාමයක් ඇතිවෙලාවත් උද්වේගයක් ඇති වෙලාවත් කරපු දෙයක් නෙමෙයි. ඒක ස්වභාවයෙන්ම ඇති වෙච්ච දෙයක්. සසර උරුමයක් ‍හේතුව වෙන්න පුළුවන්.

සෝවාන් වෙන්න අවශ්‍යය සද්ධර්ම ශ්‍රවනය, කල්‍යාන මිත්‍ර සේවනය ආදිය ඔබ වහන්සේට ලැබුනේ?
ඒක හුඟක් ගැඹුරු ප්‍රශ්නයක්. දැං මෙහෙම කියන්න පුළුවං. බුදුරජානන් වහන්සේගේ මූලික ශ්‍රාවක පරම්පරාව ඉතා පිරිසිදුව ඉන්න කාලෙ යම්කිසි කෙනෙක් සෝවාන් උනා කියල අපි හිතමුකෝ දැනට අවුරුදු හාර පන්සීයකට ඉස්සෙල්ල. තව භව ගනනාවක් එයා එනවනෙ සසර ගමනෙ. ඒවාගෙ එන පිරිස් අදත් ඉන්නව. ඒ කියන්නෙ දැනට අවුරුදු හාරපන්සීයකට , හත් අටසීයකට ඉස්සෙල්ල හොඳට පිරිසිදු ධර්මය තියෙන අවස්ථාවක ධර්මය අවබෝධ කරගෙන එදා සෝතාපන්න වෙච්ච අය මේ කාම ලෝකෙ සැරි සරාගෙන තව කාලයක් යනව. තවම වැඩි කාලයක් නෑනෙ ඒ මූලික සුද්ධ පරපුර නැතිවෙලා.
ඒ කාලෙ එහෙම වෙච්ච පිරිස් අදත් බොහෝ කොට ඉන්නව. මේ ලංකාවෙමත් ඉපදිච්ච අය ඕන තරම්. එහෙම පිරිස් වලට කවදාවත් තව කෙනෙක්ගෙං ධර්මයක් අහල මූල ආරම්භ කරන්න අවශ්‍යය නැහැ. ඒක ලබලනෙ තියෙන්නෙ. පරප්‍රත්‍යය රහිතයි. අනුංගෙ ආධාරයක් අවශ්‍යය නැහැ. උඩ බලපුවහම ඉරහඳ පේනව වගේ යථා ධර්මය පේනව. අත්හැරී ගිය කොටස අත් හැරී ගියාමයි ආයෙ සැරයක් එන්නෙ නෑ.
ඒ නිසා උප්පත්තියෙ පටන්ම ඒ අයගෙ ඒ ගති ලක්ෂණ තියෙනව. ඒ පිරිස් වලට පුළුවන් තව ආධාරයක් නැතුව මේ කාලෙ ධර්ම අවබෝධය ලබාගන්න. එහෙම අය ඕන තරං ඉන්නව . යම්කිසි කෙනෙකුට දේශනා ශක්තියක් තියෙනවනං තමයි ඒ අහගත්තු දරාගත්තු දේ නැවත වාරයක් ලෝකෙට දෙන්න පුළුවං හැකියාව ලැබෙන්නෙ. වැඩිහරියක් ශ්‍රාවකයින්ට දේශනා ශක්තිය නෑ. තමන්ට අවබෝධය තියෙනව. ඉතිං එහෙම අය දූ දරුවො වශයෙං පොඩි අය වශයෙං තවත් සමාජයෙ ඉන්නව. ඒ ගොල්ලො පුංචි කාලෙ ඉඳංම හිංගි හිංසා කරන්න සත්ත්ව හිංසා කරන්න කැමති නෑ. හොර මැර වංචා කරන්න කැමති නෑ. හොඳ දැහැමි ජීවිතයක් ගතකරන්න කැමතියි. එහෙම ස්වභාවයක් තියෙනව.
අන්න එහෙම එකක් තමයි ලෝකෙ තියෙන්නනෙ. ඔය තුලින් තෝරගන්න ඕනෙ අපි යන්නෙ කොහොමද කියල.

ඔබ වහන්සේව මුන ගැහෙන්නෙ?
සෙනසුරාදයි පෝය දවසයි මාසෙ පෝය සහ පාලොස්වක කියන දවස් දෙකයි. අනිත් දවස්වල මගේ සමාධියට අයිති වැඩේ කරගන්නව. ඒක ට නිදහස අවශ්‍යයි. ඒකයි වෙන් කරල තියෙන්නෙ.

ඔබ වහන්සේ ලඟ කෙනෙකුට මහණ වෙන්න අවශ්‍යය නම්?
ලෝක සම්මතයක් තියෙනව පැවිදි වෙලා උපසම්පදා වෙලා අවුරුදු දහයක් යන්න ඕනෙ කියල කෙනෙක් පැවැදි කරන්න තමන්ට අවසර ගන්න . ඒ සම්මත කඩල අපිට කරන්න බෑ.. සම්මත බිඳීම ගැලපෙන්නෑනෙ.

වෙන තැනක මහණ වෙලා ආවොත්?
පුළුවං, ප්‍රතිපත්ති මාලාව විතරයි අවශ්‍යය වෙන්නෙ. තමන්ට නිදහස් තැනක ඉඳං ප්‍රතිපත්ති පුරාගන්න ඕනෙ. මම ඉතිං බාහිර වැඩිපුර පිරිස අරගෙන තව කරදර වැඩි කරගන්නෑ . ඒක මගෙ නිදහසට බාධයි. ඒ හින්ද මම තව කවුරුවත් බාහිර අය තියාගන්නෙ නෑ මේ කාලෙ වෙනකොට. ඉදිරි අනාගත‍යේදි ඒවාට සුදුසු පිරිසක් ඊට ගැලපිල කටයුතු කරගත්තොත් මට ප්‍රශ්නයක් නෑ . එහෙම පිරිසක් සකස් වෙලා, ඊට අවශ්‍යය තැනක සත්කාර කරන්න ඇප උපස්ථාන කරන්න පිරිසක් එහෙම ලෑස්තිවෙලා, ඉදිරි කාලෙ සකස් උනොත් අවවාදයක් අනුශාසනාවක් අපිට දෙන්න පුළුවන් ඒව කරගෙන යන්න.
දැනට අත්‍යාවශ්‍යයයෙන්ම ඒකට හිමි පිරිසක් ඉන්නව , ඒක විග්‍රහ කරල තේරුම් කරල දෙන්න අමාරුයි. ඒ සසරෙදි සම්බන්ධ වෙච්ච පිරිසක් . ඒ පිරිසට ඉන්න ඉඩ ඇරල ඒ අවස්ථාවෙන් මේ කටයුතු කරගෙන යනව.
අවශ්‍යය අයට අවශ්‍යය ධර්මය දෙනව ඉතිං ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ ධර්මය අහල තම තමන්ගෙ ගෙවල් වල ඉඳල හරි මේ ඵල ලබන්න පුළුවන්. ධ්‍යාන මාර්ගඵල ලබන්න පුළුවන් බව අත්දකින්න පුළුවන් බවට හේතු සාධක තියෙනව. ඒක ඉතිං කෙනෙකුට කියල ඔප්පු කරල පෙන්වන්න බෑ. ඒ ලැබූ අය තමයි ලැබූ තත්ත්වයන් දන්නෙ. තමංගෙ චිත්ත ශාන්තිය තමන්නෙ දකින්නෙ. කෙනෙකුට මේව විග්‍රහ කරල දෙන්න බෑ ඒකයි.

ඔබ වහන්සේ බණකට දානෙකට වඩම්මන්නේ?
ඒවට වඩින්නෙ නම් නෑ.

උපුටා ගැනීම http://sites.google.com/site/hiddenbuddhism වෙබ් අඩවියෙනි!

තවත් විස්තර දැනගැනීමට යොමුවෙන්න
http://www.aaryadharma.org/ApeWisthara.htm